5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 06-10-2019 | 11:56 AM

COLOMBO (News 1st) - 2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරිණි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ,  www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට හෙට පෙරවරු 9.00 න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබාගත හැකි වේ. අනෙක් පාසල්වල ප්‍රතිඵල ලේඛන හෙට පෙරවරුවේ තැපෑලට යොමු කෙරෙනු ඇති. පසුගිය අගෝස්තු මස 4 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 332,179 කි. මෙවර දිවයිනේ සහ දිස්ත්‍රික් ස්ථාන වශයෙන් ප්‍රතිඵල නිකුත් නොකළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හෝ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කරනු ඇති. විශේෂ අවශ්‍යතා කාණ්ඩය යටතේ ශිෂ්‍යත්ව හිමිකම් ලබන අපේක්ෂකයින් මුළු ලකුණු සමග ශිෂ්‍යත්ව හිමිකම් ලැබූ බවට විශේෂ සටහනක් ඇතුළත් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ප්‍රතිඵල නැවත පරීක්ෂාව සඳහා ලබන 21 වැනි දා දක්වා අවස්ථාව හිමිවනු ඇති. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි. විභාග දෙපාර්තමේන්තුව පැවසූවේ, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය සඳහා කඩඉම් ලකුණ 159 ක් වන අතර දෙමළ මාධ්‍ය සඳහා වූ කඩඉම් ලකුණ 154 වන බවයි.