වර්ජන මැද නියෝජ්‍ය ඇමතිගේ කෝච්චි පොරොන්දුව...

බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රිය 30 ක් හෙට සිට ධාවනයට

by Staff writer 06-10-2019 | 9:19 AM

COLOMBO (News 1st) - හෙට සිට බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රිය 30 ක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, සමාන්‍ය දිනක කාර්යාල සේවකයින් සඳහා දුම්රිය 40 ක අවශ්‍යතාවක් පවතින බවයි. ඒ අනුව බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රිය යෙදවීමෙන් කාර්යාල සේවකයින්ට කිසිදු බාධාවකින් තොරව සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර දුම්රිය සේවය යථා තත්ත්වයට පත් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි දන්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දුම්රිය සමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබේ. අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පතී මහතා සඳහන් කළේ, ඊට අදාළ ලිඛිත උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇති බවයි. වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා විධි විධාන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය. රාජකාරියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා දෙන තුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්නොහරින බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා අවධාරණය කර තිබේ. විශ්වවිද්‍යාලය අන්‍යධයන සේවකයින්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන තුරු සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පැවසීය.