පළමු 20යි 20 තරගයෙන් ජය ශ්‍රී ලංකාවට

පකිස්ථානයට එරෙහිව වසර 6 කට පසු ශ්‍රී ලංකාව 20 යි 20 ජයක් ලබා ගනී

by Staff writer 06-10-2019 | 9:17 AM

News 1st - පකිස්ථානයට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, ලොව හොඳම 20 යි 20 කණ්ඩායම ලෙසින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පකිස්ථානය ලකුණු 64 කින් පරාජයට පත් කරමිනි. පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක පකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛයාව 165 කි. ආරම්භක පිතිකරුවන් යුගලය ලෙසින් පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු හා ධනුශ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සබඳතාවක් ගොඩනැගූහ. එහිදී සිය දෙවැනි 20 යි 20 අර්ධ ශතකය වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක් රැස් කළේ ය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33 ක් රැස් කළ අතර සිය මංගල 20යි 20 තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 32 යි. නායක දසුන් ශානක ලකුණූ 17 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී සිය දෙවන 20 යි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මොහොමඩ් හස්නයින් ලකුණු 37 කදී කඩුලු 3 ක් බිඳ හෙළුවේ අඛණ්ඩව යැවූ පන්දු තුනකිනි. අනතුරුව පන්දුවාර 17 යි පන්දු 4 ක් තුළ ලකුණු 101 ක් රැස්කරගෙන සිටියදී පකිස්ථාන ක්‍රීඩකයින් සියලු දෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. බාබර් අසාම් ලකුණු 13 යි. නායක සෆ්රාස් අමහඩ් ලකුණු 24 ක් සහ ඉෆ්ටිකාර් අමඩ් ලකුණු 25 ක් රැස් කළේ ය. අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 8 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව දුන්නේ නැත. පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් බිඳ හෙළුවේය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම 2013 වසරෙන් පසු 20යි 20 තරගයක දී පකිස්ථානය පරාජය කළ පළමු අවස්ථාව වේ. පකිස්ථානයට එරෙහිව පන්දුවාර 20 යි 20 තරගයක දී ලකුණු පරතරය අතින් ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයකි. තරගයේ වීරයා සම්මානය ධනුෂ්ක ගුණතිලක හිමිකර ගත්තේ ය.