ඇප තැන්පත් කිරීම අවසන්

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප තැන්පත් කරයි

by Staff writer 06-10-2019 | 12:27 PM

COLOMBO (News 1st) - 2019 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.00 න් අවසන් විය.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. මීට අමතරව L.A.M හිස්බුල්ලා, M.K සිවාජිලිංගම්, මහීපාල හේරත්, ගුණපාල තිස්ස කුට්ටිආරච්චි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඇප මුදල් තැම්පත් කළ අවස්ථාව මෙය ලෙස සැලකේ. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 19 දෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයින් 19 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත. වෙනත් පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 3 කි. මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිදු වේ. ඒ, රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුළ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. එම කොමිසම ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ඒ සමග වත්කම් හා බැරකම් ප්‍රකාශ ද භාර දිය යුතු බවයි. මේ අතර අද සහ හෙට මැතිවරණ කොමිෂන් සභාව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් අනුයුක්ත කර ඇති බවයි. නාම යෝජනා භාර ගැනීම හේතුවෙන් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාසවල සියලු පාසල් හෙට වසා තැබේ. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. ජී විජයබන්දු මහතා සඳහන් කළේ, ඊට අමතරව රාජගිරිය ජනාධිපති, හේවාවිතාරණ සහ හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ද හෙට වසා තැබෙන බවයි. රාජගිරිය ප්‍රදේශ ආශ්‍රිතව හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.