ඊජිප්තුවෙන් සහ චීනයෙන් ලොකු ළූණු ආනයනයට පියවර

ඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනයට පියවර

by Staff writer 06-10-2019 | 2:06 PM

COLOMBO (News 1st) - ඊජිප්තුවෙන් සහ චීනයෙන් පමණක් ලොකු ළූණු ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ, ලොකු ළූණු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 150 ක් හෝ ඊට අඩු මිලක සටහන් විය යුතු බවයි. රුපියල් 40 ක් ව පැවති ලොකු ළූණු ආනයන බද්ද රුපියල් 39 ක් දක්වා පහත දැමුවේ එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට බව එම අධිකාරිය පවසයි. එහෙත් අනිසි ලාභ ලැබීමේ අරමුණින් තවදුරටත් වැඩි මිලට ලොකු ළූණු අළෙවි කරන්නන් සොයා වැටලීම් ක්‍රියාත්මක කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, මේ වන විට එවැනි වෙළෙන්ඳන් 80 කට අධික පිරිසකට අවවාද කර ඇති බවයි. ඒ, කොළඹ සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක කළ විමර්ශනවලදී ය. වැඩි මිලට ලොකු ළූණු අළෙවි කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය අවධාරණය කළේ ය. මේ අතර එළඹෙන යල කන්නයේදී ලොකු ළුෑණු සහ රතු ළුෑණු වගා කරන බිම් ප්‍රමාණය වැඩි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා සඳහන් කළේ, හෙක්ටයාර් 7000 ක පමණ ලොකු ළුෑණු වගා කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවයි.