විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අත්හරින්නේ නැහැ

විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අත්හරින්නේ නැහැ - දුම්රිය වෘත්තීය සමිති

by Staff writer 05-10-2019 | 7:10 AM

COLOMBO (News 1st) - තම වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් වර්ජනය අත්නොහරින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, ඊයේ පැවැති දුම්රිය වෘත්තීය සමිති නියෝජිත හමුවේදී මෙම තීරණයට එළැඹි බවයි. මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එබැවින් සියලුම සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසයි. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් පෙරේදා රාත්‍රි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. දින 10 ක සිට සේවකයින් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජන සිදු කරද්දී පීඩනයට පත්වන්නේ දුම්රිය භාවිත කරන දහස් ගණනක් වූ මගී ජනතාවයි. ඊයේ දිනයේත් දිවි පරදුවට තබමින් ඉඳහිට ධාවනය වන දුම්රියක සිය ගමනාගමන පහසුකම් සපුරා ගැනීමට ඔවුන්ට සිදු විය.