ට්‍රම්ප් චීනයෙන් ඉල්ලීමක් කරයි

අමෙරිකානු හිටපු උප ජනපතිට එරෙහිව විමර්ශනයක් අරඹන්නැයි ට්‍රම්ප් චීනයෙන් ඉල්ලයි

by Staff writer 04-10-2019 | 7:49 AM
(News 1st) - අමෙරිකානු හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග විමර්ශනයක් ආරම්භ කර ඇති පසුබිමකදී ය. සිය දේශපාලන ප්‍රතිවාදියා වන හිටපු උප ජනපති ජෝ බයිඩන් සහ යුක්‍රේන ගෑස් සමාගමක සේවය කළ ඔහුගේ පුතු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පසුගියදා අනාවරණය විය. ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුට එරෙහිව අදාළ විමර්ශනය ආරම්භ කළේ ඉන් අනතුරුව ය. අදාළ ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ඊට විදේශීය මැදිහත් වීමක් අවශ්‍ය බව ද අවධාරණය කරමිනි. කෙසේ වෙතත් දෙරට අතර වෙළෙඳ යුද්ධය තීව්‍ර වී ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කිරීම පිටුපස යටි අරමුණක් පැවතිය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති. ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී හිටපු උප ජනපති ජෝ බයිඩන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස තරග කිරීමට නියමිත ය.