පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් වෙයි

පළාලි ගුවන් තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම් කෙරේ

by Staff writer 03-10-2019 | 3:55 PM
COLOMBO (News 1st) : පළාලි ගුවන් තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම් කර තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට හිමි වූ බවයි. මෙම ගුවන් තොටුපොළ සංවර්ධන කිරීමේ කටයුතු පසුගිය ජුලි මස පස්වන දා ආරම්භ කළ අතර මේ මස 10 වන දා එහි කටයුතු අවසන්වීමට නියමිත වේ. ගුවන් තොටුපළ විවෘත කිරීම ලබන 17 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යාංශය පවසයි. පියවර තුනකින් සංවර්ධනය කෙරෙන පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සංකේත අංකය වන්නේ VCCJ ලෙසයි. මෙම නම් කිරීමට සමගාමීම මඩකලපුව ගුවන් තොටුපළ , මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙසත්, රත්මලාන ගුවන් තොටුපළ , රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ද නම් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. මෙම නම් කිරීමත් සමග මෙරට දැනට ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපල සංඛ්‍යාව 5 කි.