by Staff writer 03-10-2019 | 6:40 PM
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ කිසිදු ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති වීම සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ මගින් හැකි ඉක්මනින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාට නියෝග කළේ ය.
එම ලේඛන අස්ථානගත වීම හෝ අතුරුදන් වීමට වගකිව යුත්තේ කුමන නිලධාරීන් ද යන කරුණත්, ඒවා දිවුරුම් ප්‍රකාශ මගින් හෙළි කරන ලෙසට එහිදී නියෝග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම දිවුරුම් ප්‍රකාශ ඕනෑම විමර්ශනයක් සඳහා ඉදිරිපත් කළ හැකි ආකාරයෙන් ගොනු කිරීමට වගබලා ගන්නා ලෙසට ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කරනු ලැබී ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති රීට් ආඥා පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.
එම රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී අද දෙවන දිනටත් සලකා බැලිණි.
එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර තිබූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බවට ඔහු දැනුම් දී ඇති බව ය.
ජනාධිපතිවරයාට විධායක බලය ලැබෙනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත්, ජනාධිපතිවරයා රාජ්‍යයේ සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වුවත් රාජ්‍ය පාලන බලය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවට හා අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට බව ද එහිදී පෙන්වා දුන් නීතිඥ චානක ද සිල්වා මහතා අමාත්‍ය මණ්ඩලය සතු බලය භාවිත කිරීමේ වරමක් ජනාධිපතිවරයාට නොමැති බව ද පෙන්වා දුන්නේ ය.
එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් කිරීම නීත්‍යානුකූල නොවන බව ද චානක ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
පැය දෙකකට අධික කාලයක් ඔහුගේ එම කරුණු දැක්වීමෙන් අනතුරුව 5 වන වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මහජනතාවගේ සර්වජන ඡන්ද බලය හා ජනාධිපතිවරයා සතු විධායක බලය මිස වෙනත් අයෙකුට අයත් බලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කර නොමැති බව ය.
අධිකරණය සලකා බැලිය යුත්තේ 2005 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට නිසි වකවානුව තුළ නිසි බලයක් සහිතව අත්සන් කර ඇත්තේ ද යන කරුණ මිස, වෙනත් කරුණක් නොවන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
රොමේෂ් සිල්වා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, පෙත්සම්කරුවන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සත්භාවයෙන් නොව දේශපාලන අවශ්‍යතාවයන් අනුව පෙනී යන බැවින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ඉවත දමා පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ය.
පෙත්සම සලකා බැලීම හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබිණි.