පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

කොටුව පොලිසීයෙන් නිකුත් වූ බව කියන ලිපියක් ගැන විශේෂ විමර්ශනයක්

by Staff writer 03-10-2019 | 9:54 PM
COLOMBO (News 1st) : කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් යුක්තව කොළඹ හෝටල් කිහිපයකට යොමු කර ඇති ලිපියක් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, කොටුව පොලිස් ස්ථානාධිපතිගේ අත්සනින් යුක්තව ඔක්තෝම්බර් 02 වැනි දිනය සඳහන් කර කොළඹ හෝටල් කීපයක් වෙත යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි. අදාළ ලිපියේ සඳහන් කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති වාතාවරණයක් තුළ මෙම ලිපිය යොමු කර ඇති බව නිවේදනයේ සඳහන් ය. එම ලිපිය පිළිබඳවත්, ලිපිය යැවූ නිලධාරීන් පිළිබඳවත්, යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීම සඳහා එම ලිපිය යොමු කළේද යන්න පිළිබඳවත් පොලිස් මූලස්ථානයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.