ජනපති අපේක්ෂකයින් හා මැතිවරණ කොමිසම අතර හමුවක්

ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් හා මැතිවරණ කොමිසම අතර හමුවක්

by Staff writer 02-10-2019 | 6:58 AM
COLOMBO (News 1st) - දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් හා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට දැනුම් දුන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මෙහිදී නාමයෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු මැතිවරණ නීති සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය සඳහා ඩිජිටල් නාම පුවරු ප්‍රදර්ශනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, මාර්ග දෙපස එවැනි ඩිජිටල් ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කරන බවට පැමිණිලි ලැබී ඇති බව ය. මීට අමතරව ජනාධිපතිවරණ අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රචාරණය සඳහා ඇතැම් සිනමා ශාලාවල ප්‍රචාරක පට ප්‍රදර්ශනය කරන බවට ද පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව මැතිවරණ නීතිය යටතේ දැඩි පියවර ගන්නා බව එම නිවේදනයෙන් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.