රාජ්‍ය සේවක වැඩවර්ජන තවදුරටත්

රාජ්‍ය සේවක වැඩවර්ජන තවදුරටත්

by Staff writer 01-10-2019 | 6:27 AM
COLOMBO (News 1st) : රාජ්‍ය සේවයේ ශ්‍රේණි රැසක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජන තවදුරටත් ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 6 වැනි දිනටයි. වැටුප් විශමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීහු එක්ව සිටියහ. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජී.එම්.පී. පීරිස් මහතා පැවසුවේ, රට පුරා සිදු කෙරෙන වර්ජනවලට විසඳුම් ලබාදීමට පසුගියදා පත්කෙරුණු කැබිනට් අනු කමිටුව සමග ඊයේ පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක බවයි. සේවක වැඩ වර්ජනය මධ්‍යයේ වුව ද කාර්යාල දුම්රිය 10 ක් පමණ ඊයේ උදෑසන සිට ධාවනයවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වැඩවර්ජනය හේතුවෙන් ඊයේ අවලංගු වූ කාර්යාල දුම්රිය වාර ගණන 30 කට අධිකයි. විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරුන් 20 කට වැඩි පිරිසක් මේ වන විට සේවයට එක්වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, දෛනික වැටුප් පදනම මත ඔවුන් සේවයට එක්ව ඇති බවයි. එමෙන්ම සියලුම දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරිමට උපදෙස් දි ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මකයි. වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 22 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.