පොහොට්ටුවේ විකල්ප අපේක්ෂකයා කබ්රාල් ද?

පොහොට්ටුවේ විකල්ප අපේක්ෂකයා කබ්රාල් ද?

by Staff writer 01-10-2019 | 6:39 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විකල්ප අපේක්ෂකයා ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නම යෝජනා කර ඇතැයි ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය ඊයේ වාර්තා කළේ ය. පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකත්වය සඳහා නුසුදුස්සෙකු වුවහොත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා අපේක්ෂකයා ලෙස නම් කිරීමට යෝජනා කර ඇති බව ය. කබ්රාල් මහතා ද අපේක්ෂකත්වයට සුදුසු අයෙකු බව ඇතැම් මහ නාහිමිවරුන් ද පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර ඇතැයි එම වාර්තාවේ සඳහන් ය. මේ අතර අද උදෑසන මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රතිචාර දැක්වූ කබ්රාල් මහතා සඳහන් කළේ, පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම කිසිසේත් යෝග්‍ය හෝ අවශ්‍ය නොවන බව ය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ද තමන් තරයේ විශ්වාස කරන බව එහි සඳහන් ය. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දෙන බව ද කබ්රාල් මහතා පවසයි.