ගෝඨාට එරෙහි නඩුවේ අතුරු තහනම් නියෝගය දිග් කෙරේ

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව: අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

by Staff writer 01-10-2019 | 4:36 PM
COLOMBO (News 1st) - මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස් නව ලක්ෂයක මුදලක් අවභාවිත ක‍ළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම තාවකාලිකව වළක්වමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය ලබන 14 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට තිබූ අභියාචනා පෙත්සම එල්.ටී.බී. දෙහිදෙණිය, එස්. තුරෙයිරාජා හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද දින කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ බහුතර තීරණයෙන් එලෙස අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරිණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනය සම්බන්ධයෙන් විභාගය ලබන 11 වන දා ආරම්භ කිරීමට ද විනිසුරු මඩුල්ල එහිදී දින නියම කළේ ය. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය පිළිබඳ නඩුව විභාගයට ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර එම නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට තිබූ අභියාචනාව ද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එම අධිකරණ දෙක විසින් මේ සම්බන්ධයෙන් ලබා දුන් නියෝග අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් මෙම අභියාචනාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.