ගෝඨාභය විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර ඉල්ලයි

ගෝඨාභය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර ඉල්ලයි

by Staff writer 01-10-2019 | 11:50 AM
COLOMBO (News 1st) : සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා විදෙස්ගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද ඉල්ලා සිටියේ ය. ඔහු එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, අධිකරණය මගින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසයි. එමෙන්ම ලබන 7 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමට ඇති බැවින් ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව සනාථ කිරීමට අවශ්‍ය ලියවිල්ලක් වන, දැනට අධිකරණය භාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෝසම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා කියා සිටියේ එම ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතත් ඝෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය වෛද්‍ය වාර්තා පැමිණිල්ල වෙත ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව මේ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මෙම මෝසම අනිද්දා කැඳවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඝෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් තුන් කෝටී තිස් නව ලක්ෂයක රාජ්‍ය මුදල් අවභාවිත කර ඇතැයි කියන සිද්ධියේ නඩුවට අදාළවයි. එම නඩුව සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් හා චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද දැක්වී ය. විශේෂයෙන් එම නඩුව ලබන 15 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට අධිකරණය විසින් මේ වන විටත් දින නියම කර තිබියදී නඩු විභාගය ආසන්නයේ එලෙස විදේශගත වීමට ඉල්ලීමක් කර තිබීම සලකා බැලිය යුතුව ඇතැයි ද රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලත මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.