අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප

by Staff writer 01-10-2019 | 3:57 PM
COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ඇප මත මුදා හැරිණි. ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. නඩුව ලබන ජනවාරි 08 වන දා කැඳවීමට නියමිත ය. 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, ඕනෑම රජයේ නිලධාරියෙකුට ඔහුගේ රාජකාරියට බලපෑම් කිරීම ඉතාම වැරදි සහගත කරුණක් බව ය. පූජිත් ජයසුන්දර වැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු කණිෂ්ඨම නිලධාරියෙකුට එලෙස සාපරාධී බලහත්කාරකම් කිරීම හා සාපරාධී බිය ගැන්වීම සිදු කරන විට වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණිෂ්ඨ නිලධාරීන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරනුයේ කෙලෙසදැයි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී විමසා සිටියේ ය. පූජිත ජයසුන්දර මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමේදී සිද්ධිය වූ දින පොලිස් මූලස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගත වී තිබූ රූප රාමු ඔහුට පෙන්වා දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එහිදී පූජිත් ජයසුන්දර මහතා එවැනි සිද්ධියක් වූ බව පිළිගනිමින් සිය කණගාටුව ප්‍රකාශ කළ බව ය.