SL vs PAK එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද

ශ්‍රී ලංකා - පකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද

by Staff writer 30-09-2019 | 10:26 AM
COLOMBO (News 1st) - තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - පකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වේ. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි. ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය අද දිනයේදී පැවැත්වීමට සිදු වූයේ තරග පැවැත්වෙන කරච්චි ක්‍රීඩාංගණය ඒ සඳහා සූදනම් කිරීමට දින 2ක් ගත වීම හේතුවෙනි. කරච්චි ක්‍රීඩාංගණයේ වසර 39ක ඉතිහාසයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු පළමු තරගය ලෙස ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු එක්දින ක්‍රිකට් තරගය වාර්තා අතරට එක්විය. 1975 වසරේ සිට මේ දක්වා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව එකිනෙකා මුණ ගැසී ඇති එක්දින තරග සංඛ්‍යාව 154කි. ඉන් තරග 90ක් පකිස්ථානය ජය ගෙන ඇති අතර තරග 58ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබේ. එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වන විට ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇති තරග ගණන 5කි. පකිස්ථානය තුළදී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානය තරග 28ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 16ක් සත්කාරක ක්‍රීඩකයින් ජය ගන්නා විට තරග 12ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබේ. අද තරගය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ පකිස්ථානයේ කරච්චි නුවරදී ය. පකිස්ථානයේ කරච්චි පිටියේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සූදානම්ව ඇත්තේ වසර 10කට පසුව ය. මෙම පිටියේ මේ දක්වා එක්දින තරග 8ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් ජය ගෙන තිබේ. සත්කාරක පකිස්ථානය ජයග්‍රහණය කර ඇති තරග ගණන 5කි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වේ.