වැටුප් විෂමතා: කැබිනට් අනු කමිටුව අද රැස් වෙයි

වර්ජකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුව අද රැස් වෙයි

by Staff writer 30-09-2019 | 9:16 AM
COLOMBO (News 1st) - වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුව අද රැස්වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසුවේ, වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ කැබිනට් අනු කමිටුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව ය. එහිදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගියදා පත් කළ එස්. රනුක්ගේ කමිටුවේ වාර්තාවේ නිර්දේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති. අදාළ කැබිනට් අනු කමිටුව මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වේ. රාජ්‍ය සේවයේ ශ්‍රේණි රැසක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජන තවදුරටත් ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 5 වන දිනට ය. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීහු එක්ව සිටිති. මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවසුවේ, වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය ද අඛණ්ඩව ක්‍රියාත්මක බව ය. වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 21 වන දිනටත් ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා පැවසුවේ ය. ඔහු පැවසුවේ අද පැවැත්වෙන සාකච්ඡා සඳහා තම වෘත්තීය සමිතියට ආරාධනා කර නොමැති බව ය. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාව යළි සමාලෝචනය කරන්නැයි ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට යොමු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර වැඩ වර්ජනවල නිරත වන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටලු විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුව සමග අද දිනයේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සිය නියෝජිතයින් සහභාගී වන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ ය.