ගෝඨාභයට එරෙහිව පෙත්සමක්

ගෝඨාභය ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම අත්හිටු වන්නැයි ඉල්ලමින් අධිකරණයට පෙත්සමක්

by Staff writer 30-09-2019 | 12:40 PM
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 2 වන දා පෙරවරු 9.30ට සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. පෙත්සම ගොනු කර ඇත්තේ, ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසිනි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම පෙත්සම කැඳවනු ලැබී ය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා,  ස්වදෙශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හා විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් නම් කර තිබේ. ඊට අමතරව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණ් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අත්හැරි බවට ඉදිරිපත් කර ඇති කරුණු මත ඔහුට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කර ඇති නමුත් ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙකු බව තහවුරු කිරීමට විධිමත් ලේඛන ඉදිරිපත් කර නොමැති බව පෙත්සමෙන් දක්වා තිබේ. එම ලේඛන අනුව පුරවැසිභාවය අත්හල බවට ඉදිරිපත් වූ කරුණු අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ආගමන විගමන පාලකවරයා විසින් ඔහු වෙත ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහන් වන විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කොට ඇති බවට පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අත්හල බවට තහවුරු කළ හැකි නිශ්චිත ලේඛන ඉදිරිපත් කොට නොතිබීමෙන් එලෙස විදේශ ගමන් බලපත්‍රයක් හා හැඳුනුම්පතක් නිකුත් කිරීම නීති විරෝධී බව පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබේ. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුවරසියෙකු ලෙස පිලිගැනිම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙන තුරු ඔහු වෙත නිකුත් කර ඇති ජාතික හැදුනුම්පත හා විදෙශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරිම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.