ගෝඨාගේ හැඳුනුම්පතේ තොරතුරු අධිකරණය ඉල්ලයි

ගෝඨාභයගේ හැඳුනුම්පතේ සහ විදෙස් ගමන් බලපත්‍රය ගැන තොරතුරු අධිකරණයට ලබා දෙන්නැයි නියෝග

by Staff writer 30-09-2019 | 3:31 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

එම නියෝගය කළේ, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාටයි. පුරවැසිභාවය හා විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සම්බන්ධ තොරතුරු අඩංගු ලේඛනයක් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් පිටපත් ඔහුගේ නීතිඥවරුන් අද අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 2 වැනි දා පෙරවරු 9.30 ට සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. පෙත්සම ගොනුකර ඇත්තේ, ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසිනි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම පෙත්සම කැඳවනු ලැබිණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ආගමන විගමන පාලක ජනරාල්වරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ස්වදෙශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණ් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, වැඩබලන පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයායි. ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුවරසිභාවය අත්හැරි බවට ඉදිරිපත් කර ඇති කරුණු මත ඔහුට ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කර ඇති නමුත් ඔහු ශ්‍රී ලංකා පුරවැසියෙකු බව තහවුරු කිරීමට විධිමත් ලේඛන ඉදිරිපත් කර නොමැති බව පෙත්සමෙන් දක්වා තිබේ. එම ලේඛන අනුව පුරවැසිභාවය අත්හල බවට ඉදිරිපත් වූ කරුණු අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ආගමන විගමන පාලකවරයා විසින් ඔහු වෙත ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහන් වන විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කොට ඇති බවට පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දුන් පෙත්සම්කරුවන් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිතකානු පුරවැසිභාවය අත්හල බවට තහවුරු කල හැකි නිශ්චිත ලේඛන ඉදිරිපත් කොට නොතිබීමෙන් එලෙස විදේශ ගමන් බලපත්‍රයක් හා හැඳුනුම්පතක් නිකුත් කිරීම නිති විරෝධි බව අධිකරණයට පෙන්වා දුන්නේ ය. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුවරසියෙකු ලෙස පිළිගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබාදෙන තුරු ඔහු වෙත නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.