by Staff writer 30-09-2019 | 8:35 PM
COLOMBO (News 1st) - ආන්දෝලනාත්මක අමෙරිකාවේ වෙස්ටන් ග්ලෝබල් එයාලයින් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
මෙම ගුවන් සමාගම නම් දරා ඇත්තේ, අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සේවා සපයන ගුවන් සමාගමක් ලෙසයි.
බෙල්ජියමේ ලීජ් නරගරයේ සිට පසුගිය 28 වැනි දා යානය කටුනායකට පැමිණ ඇත.
වෙස්ටන් ග්ලෝබල් අමෙරිකානු ගුවන් සමාගමේ අයිතිකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අමෙරිකානු රහස් ඔත්තු සේවය වන සී. අයි. ඒ සංවිධානයේ කලක් සේවය කළ ඉහළ නිලධාරීයෙකි.
මෙම යානයේ රැගෙන ආවේ මොනවා ද? කුමක් සඳහා පැමිණියේ ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා මෙරට ආයතන කිහිපයක් සම්බන්ධ කර ගත්ත ද නිශ්චිතව කරුණු පැහැදිලි කිරීමක් කෙරුණේ නැත.
මීට පෙර අවස්ථා දෙකකදී වෙස්ටර්න් ග්ලෝබල් සමාගමේ යානා මෙරටට පැමිණි අවස්ථාවේ අප කළ විමසීමකදී එම සමාගම කියා සිටියේ මෙරට සේවා දායකයෙකුගේ අවශ්‍යතා සඳහා පැමිණි බවයි.
කෙසේවෙතත් මෙම සමාගම අමෙරිකානු රජයේ භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවසර හිමිවී ඇති සිවිල් ගුවන් සේවයකි.
මෙම සමාගමට අයත් මෙවැනිම යානයක් මහ මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ 2016 වසරේ පෙබරවාරි 14 වන දා සිම්බාබ්වේ හරාරේ ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබුණි.
යානය පැමිණ තිබුනේ, ජර්මනියේ මියුනික් සිට දකුණු අප්‍රිකාව බලා පියසර කරන අතරවාරයේ ය.
එහි බදේ පහළ කොටසේ තිබූ ලේ පැල්ලමක් ගැන සැක මතුවීමෙන් පසුව එරට පොලීසිය සිදු කළ පරීක්ෂාවකදී මල සිරුරක් හා දකුණු අප්‍රිකානු මුදල් නෝට්ටු තොගයක් සොයා ගත්තේ ය.
යානය හා කාර්ය මණ්ඩලය රඳවාගෙන විමර්ශන සිදු කළ නමුත් පසුව ඒවා මුදා හැරීමට සිම්බාබ්වේ බලධාරීන් පියවර ගෙන තිබේ.
මුදල් තොගය ගැන දකුණු අප්‍රිකානු මධ්‍යම බැංකුව මුලදී ප්‍රකාශ කළේ, මෙතරම් විශාල මුදල් වෙනත් රටක මුද්‍රණය නොකරන බවයි.
නමුත් පසුව ඔවුන් එම මුදල් තමන් සතු බැවින් මුදාහරින ලෙස සිම්බාබ්වේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙවැනි පසුබිමක් තුළ වෙස්ටර්න් ග්ලෝබල් සමාගමේ යානයක් ජනාධිපතිවරණයක් සමීපයේ මෙරටට පැමිණියේ ඇයි දැයි මතුවන්නේ ගැටලුවකි.
ශ්‍රී ලංකාවට පැමිණි මේ යානයේ රැගෙන ආවේ මොනවා ද?
මහ බැංකු වංචාව ගැන අනාවරණය කරද්දී අහිමි වූ විශාල මුදලට සිදුවූයේ කුමක්දැයි අපි දිගින් දිගටම ප්‍රශ්න කළෙමු.
ජනාධිපතිවරණයක් ආසන්නයේ මෙවැනි යානයකින් ආරක්ෂාවට බලපාන උපකරණ පවා රැගෙන ඒමට ඉඩක් නොතිබේ ද?
අමෙරිකානු වෙස්ටර්න් ග්ලෝබල් යානයෙන් රැගෙන ආවේ හෝ ආපසු ගෙන යාමට සූදානම් වන්නේ මොනවා ද?