වැටුප් විෂමතා ඉවත් කිරීම: කැබිනට් අනුකමිටු තීරණය

වෘත්තීය සමිති සමග සාකච්ඡා කර වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුකමිටුව සැරසෙයි

by Staff writer 29-09-2019 | 8:23 AM

COLOMBO (News 1st) - වැඩ වර්ජනවල නිරත වන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටලු විමර්ශනයට පත් කළ කැබිනට් අනුකමිටුව ඊයේ රැස්විය.

එහිදී තීරණය වී ඇත්තේ, දැනට වර්ජනවල නිරත වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඔවුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ලබන සඳුදා එම සාකච්ඡා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ එම අනුකමිටුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බවයි. එහිදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය දා පත් කළ එස්. රනුක්ගේ කමිටුවේ වාර්තාවේ නිර්දේශ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි. අදාළ කැබිනට් අනුකමිටුව මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන් සමන්විත වේ.