"මා වටා සොරුන්, වංචනිකයින් නැහැ" - මහේෂ් සේනානායක

"මා වටා සොරුන්, වංචනිකයින් නැහැ" - ජාතික ජනතා ව්‍යාපාරය ජනපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක

by Staff writer 29-09-2019 | 6:17 PM
COLOMBO (News 1st) : හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස අද නම් කෙරිණ. එම උත්සවය පැවැත්වුණේ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීයි. රට රැකුමට රට නැගුමට යන්න තේමා කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ. එහිදී උත්සවය අමතමින් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, එක රටක් තුළ එක නීතියක් ගෙන එන ඒමට කැප වී සිටින බවයි. කිනම් තර්ජන, ගර්ජන පැමිණිය ද සැමට ආත්ම ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැඳී සිටින බව ත් රටේ ජනතාව අතර සාමය හා සංහිඳියාව ඇති කළ හැක්කේ, ස්වාධීන රාජ්‍ය නායකයෙකුට පමණක් බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය. අපනයනය ඉලක්ක කර ගත් ආර්ථික සංවර්ධනයක අවශ්‍යතාව අවාධරණය කළ මහේෂ් සේනානායක මහතා තමා වටා රැස්ව සිටින්නේ, සොරුන්, වංචනිකයින් නොව රටට අදාරය කරන සැබෑ පුරවැසියන් පමණක් බව ද එහිදී ප්‍රකාශ කළේ ය. ජෙනරල් මහේෂ් සේනානායක මහතා පිළිබඳ තබන සටහනක්... කොළඹ ආනන්ද විද්‍යාලයේ ද්විතියක අධ්‍යාපනය හමාරකර 1981 වසරේ ඔක්තෝම්බර් 16 වනදා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ඔහු 1983 දී පුහුණුව අවසන් කළේ, අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන සම්මාන අසිපතද දිනා ගනිමිනි. දෙවන ලුතිනන්වරයෙකු ලෙස යුද හමුදා ඉංජිනේරු බලකායට එක්වූ මහේෂ් සේනානායක මහතා 1989 වසරේ ඇරඹි යුද හමුදා විශේෂ බලකායට ආරම්භක සාමාජිකයෙකු ලෙස එක්වන්නේ ස්වේච්ඡාවෙනි. උතුරු - නැගෙනහිර ප්‍රදේවල සියලුම ක්‍රියාන්විතයන්ට සක්‍රීයව දායකවූ මහේෂ් සේනානායක මහතා දිගුදුර විමර්ශන මෙහෙයුම් සංකල්පය හඳුන්වාදීමේ පුරෝගාමියායි. බ්‍රිගේඩියර් නිලයට උසස්වීමෙන් පසුව මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවසන් කාල සීමාවේ යුද හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂ ධුරයේ වගකීම් ඉටු කළේ,මහේෂ් සේනානායක මහතායි. 2017 වසරේ ජුලි 4 වනදා මහේෂ් සේනානායක යුද හමුදාපති ධුරයට පත්වූයේ එම තනතුරට පත් විසි දෙවැන්නා ලෙසයි. ඇමරිකාවේ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ද හිමිකර ගත් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රණ වික්‍රම, රණශූර , විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලැබූ නිලධාරියෙකි. තිස් වසරක යුද්ධය අවසානවීමෙන් පසුව ජාත්‍යන්තරයෙන් නැගුන බලපෑම්වලට මුහණදීමේදී යුද හමුදාවට නායකත්වය දුන් ඔහු උතුරු, නැගෙනහිර සිවිල් ජන ජීවිතය නගා සිටුවීම සඳහා සිය දායකත්වය උපරිමයෙන් සැපයූ අයෙකි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාවට නිසි මගපෙන්වීම ලබාදෙමින් නායකත්වය දුන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ජාතීන් අතර සමගිය සහ සහජීවනය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවිය. https://www.facebook.com/NewsfirstSL/videos/2426834887385959/