විශ්‍රාමික දුම්රිය සේවකයින් 20 ක් යළි කැඳවයි

දුම්රිය වර්ජනයට විසඳුමක් ලෙස විශ්‍රාම සේවකයින් 20 ක් යළි සේවයට

by Staff writer 29-09-2019 | 12:22 PM

COLOMBO (News 1st) - දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීම සඳහා විශ්‍රාමිකයින් සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විශ්‍රාමලත් දුම්රිය සේවකයින් 20 දෙනෙකු මේ වන විට සේවයට කැඳවා ඇති බවයි. වැඩ වර්ජනය තවදුරටත් පැවතියහොත් එම සේවකයින් යොදවා දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර වැඩ වර්ජනය පැවතිය ද අද පෙරවරුවේ දුම්රිය 5 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. එහි ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්ත මහතා පැවසුවේ, මහනුවර, රඹුක්කන, හලාවත, ගාල්ල හා අවිසාවේල්ල සිට කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කළ බවයි. සති අන්තයේ ධාවනය වීමට නියමිතව තිබූ සියලු විශේෂ දුම්රිය අවලංගු කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ අතර වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති එම වැඩ වර්ජනයට අදට දින 04 කි. ඊට දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීන් එක් ව සිටිති. මේ අතර වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය හා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයකයින් ආරම්භ කළ වැඩ වර්ජන තවදුරටත් ක්‍රියාත්මකයි.