හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා රිමාන්ඩ්

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර බන්ධනාගාරගත කෙරේ

by Staff writer 28-09-2019 | 8:37 PM
COLOMBO (News 1st) - හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් ලබන මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ බදුල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගවලට අනුව ය. ජගත් විජේවීර මහතා ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලට ගිය ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුව නිරීක්ෂණය කළ අතර බදුල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන තාරක සෙනෙවිරත්න මහතා නිරීක්ෂණය කරනු ලැබී ය. මේ වන විට එම සැකකරුවෝ එම රෝහල්වල බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබති. නීතිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසිනි. රාජසන්තක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව භාරයට පත් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 8ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම් දීමකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබිණි.