සරසවි තුළ දේශපාලනය තාවකාලිකව තහනම් කිරීමට යෝජනාවක්

සරසවි තුළ දේශපාලනය තාවකාලිකව තහනම් කිරීමට යෝජනාවක්

by Staff writer 28-09-2019 | 9:31 PM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාකාරී දේශපාලන කටයුතු වසර 5කට තහනම් කිරීම කෙරෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයින් අවධානය යොමු කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු කැබිනට් අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, මෙරට සියලු විශ්වවිද්‍යාල අනාගත නායකයින් බිහි කරන වේදිකාවක් වශයෙන් ක්‍රියාකරන බව සත්‍යයක් නමුත් අවාසනාවකට මෙන් ඒ තුළ ප්‍රචණ්ඩ හා හිංසාකාරී තත්ත්වයක් පවතින අතර එය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කර ඇති බව ය. විශ්වවිද්‍යාල බුද්ධිමත් මණ්ඩප බවට පත් කරන තීරණයක් වශයෙන් ඉගෙන ගන්නා සිසු සිසුවියන්ගේ ක්‍රියාකාරී දේශපාලන කටයුතු විශ්වවිද්‍යාලය තුළ තාවකාලිකව තහනම් කිරීම සුදුසු අතර එය අපේක්ෂකයින් සිය ප්‍රතිපත්තිවලට ඇතුළත් කළ යුතු බව ඔහු පවසයි. එමෙන්ම වයස අවුරුදු 18ට වැඩි පාසල් හැර යන සියලුම දෙනා අනිවාර්ය යුද සේවයට යොමු කිරීම සුදුසු බවට මීට පෙර දක්වන ලද අදහස හා එකඟ විය හැකි බව ද මොරගොඩ මහතා සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට යෝජනා කර සිටියි. ජාතිය, ආගම හෝ සමාජ තත්ත්වය වැනි කිසිම බේදයකින් තොර රටක් ගොඩනැගීම අපගේ උදාර අරමුණ විය යුතු බව පෙනවා දෙන මිලින්ද මොරගොඩ මහතා පවසන්නේ යුද, ගුවන්, නාවික හෝ පොලිස් සේවය කෙටි කාලයකට හෝ අනිවාර්ය කිරීම දැනට බේද භින්න වී සිටින ජන සමාජය එකතු කරන සංකල්පයක් වන අතර එමගින් රට එක්සේසත් කළ හැකි බව ය.