දුම්රිය වර්ජනය තවදුරටත්...

විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බව දුම්රිය වෘත්තිය සමිති කියයි

by Staff writer 28-09-2019 | 7:07 AM

COLOMBO (News 1st) - දුම්රිය රියැදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක් ව ආරම්භ කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මක වේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියැදුරන්, පාලකවරුන්, නියාමකරුවන් ඇතුළු වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිටයි. වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි පීඩාවට පත් ව සිටිති. ඔවුන් සඳහන් කළේ, දින ගණනාවක් පැවති වැඩ වර්ජනය හේතුවෙන් තම දෛනික කටයුතුවලට බාධා මතුව ඇති බවයි. දුම්රිය සේවක වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, තම වැටුප් විෂමතාවට විසඳුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය අත්නොහරින බවයි. මේ අතර වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද 19 වැනි දිනට ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සඳහන් කළේ, මෙතෙක් සිය ගැටලු සඳහා විසඳුම් ලැබී නොමැති බවයි.