පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

by Staff writer 28-09-2019 | 3:32 PM
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලට ඉදිරි පැය කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි බව ය. ඒ අනුව සුළං වේගය පැයට කිලෝමීටර 80ක් පමණ දක්වා ඉහළ යා හැකි ය. අකුණු පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ඊට අමතරව කුඹුරු, තේ වතු, ක්‍රීඩාංගණ මෙන්ම ජලාශ්‍ර වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටිය යුතු ය. රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බයිසිකල්, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතු ය. තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.