තුම්බිකුලමේ මිය ගිය අලීන්ගේ ශරීර කොටස් රස පරීක්ෂක වෙත

by Staff writer 28-09-2019 | 5:08 PM
COLOMBO (News 1st) - හබරණ, දිගම්පතහ, හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය අලීන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසයි. ඔහු පැවසුවේ, මිය ගිය අලි කිහිප දෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ ද මරණයට නිශ්චිත හේතුවක් හඳුනා ගත නොහැකි වූ බව ය. මෙම මරණ පිළිබඳව පොලීසිය මෙන්ම තම දෙපාර්තමේන්තුව මගින් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු පැවසුවේ ය. තුම්බිකුලම රක්ෂිතයේ වන අලි මිය යාම පිළිබඳව පළමු වරට වාර්තා වූයේ ඊයේ දිනයේදී ය. වනජීවී නිලධාරීන්ට රක්ෂිතයේ හිරිවඩුන්න වැව් භූමියේ තිබී මිය ගිය අලි 4 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ඊයේ හැකි විය. මේ අතර අද දිනයේ ද එම ප්‍රදේශයේම තිබී තවත් අලි 3 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. ඒ අනුව මේ වන විට රක්ෂිතයේ මිය ගොස් ඇති අලි සංඛ්‍යාව 7කි. එම අලි අවුරුදු 20ත් 30ත් අතර පසුවන වන බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ. මිය ගිය තවත් අලීන්ගේ සිරුරු රක්ෂිතයේ තිබේ දැයි සොයා බැලීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන සඳහන් කළේ ය. ඒ අනුව කණ්ඩායම් 7ක් මේ වන විට තුම්බිකුලම රක්ෂිතයේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙලෙස අලි මිය යාමට හේතුව විෂ ශරීර ගත වීමක් විය හැකි බවට මේ වන විට සැක පළ වී තිබේ.