ඇල්පිටියේ තැපැල් ඡන්දය දාන්න තව ත් අවස්ථාවක්

ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබන 4 වැනි දා තව ත් අවස්ථාවක්

by Staff writer 28-09-2019 | 7:31 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද හිමියන් සඳහා ලබන මස 04 වැනි දා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනු ඇති. මේ අතර ලබන 11 වැනි දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට පිළිගනු ලබන ලේඛන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පුජ්‍ය / පුජක හැඳුනුම්පත සහ මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ විශේෂ හැඳුනුම්පත ඒ සඳහා ඉදිරිපත් කළ හැකියි. සහතික කරන ලද ඡායාරූප හෝ ජාතික හැඳුනුම්පත් භාර ගැනීමේදී නිකුත් කරන කුවිතාන්සි යනාදී කිසිදු ලියවිල්ලක් වලංගු හැඳුනුම්පතක් වශයෙන් ඡන්දපොළේදී පිළිනොගන්නා බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. මැතිවරණ කොමිසම පැවසුවේ, හැඳුනුම්පත දුර්වර්ණවීම නිසා අපහැදිලි හෝ පුද්ගලයා හැඳුනුම්පතින් හඳුනාගත නොහැකි නම් එවැනි ඡන්ද දායකයින් මැතිවරණ කොමිසන් සභාව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුනුම්පත ලබාගත යුතු බවයි. මැතිවරණ කොමිසන් සභාව මගින් නිකුත් කරන විශේෂ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලබන පළමු වැනිදා වේ. තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට ඒ සඳහා ජාතික හැඳුනුම්පතෙහි ඡායාරූපය ප්‍රමාණයේ කලු හෝ වර්ණ ඡායාරූප පිටතක් දෙකක් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත හෝ වතු අධිකාරී වෙත ලබාදීය යුතුයි. මේ අතර සේවා නියුක්තිකයන්ට ඡන්දය දීමට හැකි වන පරිදි සේවා යෝජකයෙකුගෙන් ඉල්ලීමක් කළ විට පැය දෙකකට නොඅඩු කාලසීමාවක් සඳහා පඩි රහිත නොවන නිවාඩු ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.