ශ්‍රී ලංකා - පකිස්ථාන පළමු එක්දින තරගයේ ජය කාටද?

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් 10 වසරකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පකිස්ථාන තරග බිමට

by Staff writer 27-09-2019 | 11:04 AM

COLOMBO (News 1st): 2009 වසරේ එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10 කට පසු , දීර්ඝ තරගාවලියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද පාකිස්ථානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

දෙරට අතර පළමු එක්දින තරගය අද පැවැත්වෙන්නේ කරච්චි නුවරදීය. කරච්චි ක්‍රීඩාංගණයේදී එලෙස ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීම ද විශේෂත්වයකි. අවසන් වරට කරච්චි ක්‍රීඩාංගණයේදී එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ පසුගිය 2009 වසරේ ජනවාරි 21 වැනිදාය. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 129 ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කළේය. එවැනි පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය සිය රටේ ක්‍රිකට් අනාගතයට පිටිවහලක් වනු ඇතැයි පකිස්ථාන ක්‍රිකට් විචාරකයින් පවසයි. කරච්චි ක්‍රීඩාංගණයේදී මේ වනවිට පවත්වා ඇති තරග 8 න් 3 ක් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. සත්කාරක පාකිස්ථානය ජයග්‍රහණය කර ඇති තරග ගණන 5කි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනු ඇති. තරගාවලියට එක්දින තරග 3ක් ඇතුළත්ය.