by Staff writer 27-09-2019 | 2:27 PM
COLOMBO (News 1st): දිවි නැගුම ලිත් නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් මහාධිකරණයකට යොමු කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
අදාළ තින්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරු ශිරාන් ගුණවර්ධන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් සඳහන් කළේ, එම ඉල්ලීමට සාධාරණ නීති පදනමක් හො සාධාරණ හේතුවක් නොමැති බව ය.
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක් වැය කර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවි නැගුම ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදාහැරිම ඇතුළු අධි චෝදනා යටතේදී ය.
බැසිල් රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබුණේ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලගුංග මහතා ඉදිරියේ විභාගයට නොගෙන වෙනත් මහාධිකරණයකට යොමු කරන්නැයි ඉල්ලමිනි.
එම ඉල්ලිම සහ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අදාළ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට අවසර හිමිවිය.