ඇවන්ට් ගාඩ් නඩුවේ තවත් සැකකරුවෙකු කොටුවෙයි

ඇවන්ට් ගාඩ්හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා අත්අඩංගුවට

by Staff writer 27-09-2019 | 12:22 PM

COLOMBO (News 1st) : ඇවන්ට් ගාඩ් නෞකාව සම්බන්ධ නඩුවට අදාලව තවත් සැකකරුවෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසිනි. අද අලුයම සැකකරු සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, විෂ්වජිත් නන්දන දියබලනගේ නැමැති රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඇවන්ට් ගාඩ්හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි. සැකකරුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද පනවනු ලැබිණි. වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති සැකකරු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. මේ අතර, ඇවන්ට් ගාඩ් නඩුවට අදාලව සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර , ඉන් සැකකරුවන් 04 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටී. සෙසු සැකකරුවන් 03 දෙනා ඇප මත සිටින බව පොලීසිය ප්‍රකාශ කළේය. බලපත්‍ර නොමැතිව ගිනි අවි 816 ක් සහ ලක්ෂ දෙකකට අධික පතොරොම් සමග අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ට් ගාඩ් නෞකාව සම්බන්ධයෙන් නඩුව පවරා තිබේ.