ගෝඨාභයට එරෙහිව CID විමර්ශන

ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස සිට මෙරට දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව CID විමර්ශන

by Staff writer 27-09-2019 | 10:32 AM

COLOMBO (News 1st): 2005 වසරේ අමෙරිකානු පුරවැසියෙකු ලෙස සිටියදී ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කරනු ලබන විමර්ශනයට අවශ්‍ය ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම නියෝගය කළේ, හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට සහ ආගමන විගමන පාලක ජනරාල්වරයාටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ක්‍රියාත්මක කරනු ලබන්නේ, 2005 වසරේ අමෙරිකානු පුරවැසියෙකු ලෙස සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් කළ ඉල්ලීමක් සළකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා ය. ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ අංශයේ නිලධාරීන්ගෙන්, ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එයට අදාළ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ නොමැති බව දන්වා ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.