රාජ්‍ය සේවක වැටුප් ජනවාරි මාසයේ සිට ඉහළට

රාජ්‍ය සේවක වැටුප් ජනවාරි මාසයේ සිට ඉහළට

by Staff writer 26-09-2019 | 3:43 PM
COLOMBO (News 1st) : සියලු රාජ්‍ය සේවකයින්ගේ මාසික අවම වැටුප රුපියල් තුන්දහසකින් හා උපරිමය රුපියල් 24,000 කින් ලබන ජනවාරි මාසයේ සිට වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව එම පියවර ගන්නා බවයි. නව වැටුප් වැඩිවීමත් සමග රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රයන්හි තිබූ වැටුප් විෂමතා ඉවත් වනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, විශේෂයෙන් දුම්රිය හා තැපැල් සේවාවන් ද ඇතුළුව වැටුප් විෂමතාවක් රාජ්‍ය අංශයේ පවතින්නේ නම්, එය මුළුමනින්ම ඉවත් වනු ඇති බවයි. දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා දුම්රිය තාක්ෂණික සේවයට අයත් දුම්රිය මෙහෙයුම්, අධික්ෂණ කළමනාකරණ සේවයට අයත් නිලධාරීන් සඳහා TL යනුවෙන් නව වැටුප් කේතයක් හඳුන්වා දී තිබේ. එහි ආරම්භ වැටුප රුපියල් 36,095 ක පිහිටුවා තිබේ. ඊට අමතරව දුම්රිය එන්ජින් රියදුරු සහායකගේ වැටුප MT 1 වැටුප් කේතය යටතේ ආරම්භක වැටුප් රුපියල් රුපියල් 34,415 ක ස්ථාපනය කර ඇතැයි, මුදල් අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ ය. මෙම වැටුප් සංශෝධනයත් සමග 2015 වසරේදී රුපියල් 11,730 ක්ව පැවති රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ සේවකයෙකුගේ අවම මූලික වැටුප 2020 වනවිට රුපියල් 24,250 ක් වනු ඇති. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, නව වැටුප් විෂමතා පිළිබඳ කොමිසමේ නිර්දේශ අනුව එම වැටුප රුපියල් 27,250 දක්වා රුපියල් තුන්දහසකින් තවදුරටත් ඉහළ යන බවයි. මෙම වැටුප් වැඩිවීමට සාපේක්ෂව ලක්ෂ 11 කට ආසන්න සමස්ත රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ද වැඩි වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.