ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද ලෙඩ නිවාඩු

ගුරුවරුන් අසනීප නිවාඩු... පරිපාලන සේවා නිලධාරීන් වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 26-09-2019 | 7:06 AM

COLOMBO (News 1st) - ගුරු, විදුහල්පති වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ, මේ දිනවල සිදු කෙරෙන උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් අද සහ හෙට ඉවත් වන බවයි. ඔවුන් විභාග ඇගයීම් කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බවට මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවයි. ඒ හේතුවෙන් සාමාන්‍ය පරිදි ඇගයීම් කටයුතු සිදු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා සඳහන් කළේ, නීති ක්ෂේත්‍රයට වැටුප් වැඩි කිරීමෙන් රාජ්‍ය සේවයේ හටගෙන ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රජය ක්‍රියා නොකිරීමට විරෝධය පළ කරමින් වර්ජනය ක්‍රියාත්මක බවයි. තව ද වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය ද අද 17 වැනි දිනටත් ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මීට අමතරව රජයේ පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව නතර කර තිබේ. ඒ, දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමිනි. රජයේ පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට නැවත වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.