එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට

BREAKING NEWS : එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කෙරේ

by Staff writer 26-09-2019 | 4:00 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ නම් කෙරිණ.

ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වී ගත් තීරණයකට අනුවයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීම අද පස්වරු 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ විය. ඒ පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදි, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබිණ. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමන්ගම පිළිබඳ සටහනක්.... ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එකම පුත් සජිත් ප්‍රේමදාස 90 දශකයේදී සිය දේශපාලනය අරඹන්නේ ඈත දුෂ්කර හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. 2000 වසරේදී දිවයිනේ වැඩිම ජන්ද ප්‍රතිශතය ලබා හම්බන්තොට දිනා පාර්ලිමේන්තුවට පිවිසියේ ය. 2001 වසරේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනතා සේවයට කැපවිය. විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස ද ජනතාව වෙනුවෙන් ජනතා සේවයට කැපවී ක්‍රියා කළ ප්‍රේමදාස මහතා අනතුරුව වත්මන් රජයේ නිවාස හා ඉදිකිරීමේ අමාත්‍ය ධුරය භාරගත්තේ ය. තම පියාගේ උදාගම් සංකල්පය වඩාත් පුළුල්ව ඉදිරියට ගෙනයමින් නව ගම්මාන 288ක් ජනතා සන්තක කිරීමට ඔහු ක්‍රියා කළේ ය. මීට අමතරව සසුනට අරුණ, වැවයි දාගැබයි - ගමයි පන්සලයි වැඩසටහන් තුළින් ඔහු බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ද සිය අමාත්‍ය මෙහෙය ඉදිරියට ගෙනයාම විශේෂත්වයකි. සංස්කෘතික අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් ඔහු සියලු ආගම් හා සංස්කෘතීන්ට සිය වැඩසටහන් හරහා විශාල සේවයක් ඉටු කළේ ය. සෘජු අදහස් ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස පක්ෂය හැර නොගොස් බාධා සියල්ල ජයගත්තේ මතවාදයෙනි. සියලු සුදුසුකම් සපුරා වැඩිම ජනතා ප්‍රසාදය හිමිකරගත්ත ද සජිත් ප්‍රේමදාසට ජනාධිපති ධුර අපේක්ෂකයා වීමට එල්ල වූ බාධා එමටයි. නායකයින් යැයි කියාගන්නා පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් ද ජනමතය පවා නොසලකා ඔහුගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක් කළේ ය. සජිත් ප්‍රේමදාස කළේ, සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා මහජන මතය අන් සියල්ලට වඩා උසස් යැයි පවසමින් දැඩි විශ්වාසයෙන් කටයුතු කිරීමයි. තමන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුවම යන බව නිතර පැවසු ඔහු අවසන් මොහොත දක්වා පාක්ෂිකයාගේ බලාපොරොත්තුව වෙනුවෙන් සංයමයකින් කටයුතු කළේ ය. ඔහුගේ ජනාධිපතිවරණ ආගමනයට ආශිර්වාදයක් වූයේ නොනවතින ජනතා රැල්ලයි. අද ඔහු අරඹන්නේ ඒ ජනාධිපති ධුර සටනේ අලුත් ගමනයි.