පකිස්ථානයේ ප්‍රබල භූ චලනයක්: 19ක් මරුට

පකිස්ථානයේ හටගත් ප්‍රබල භූ චලනයෙන් මිය ගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට

by Staff writer 25-09-2019 | 7:17 AM

(News 1st ) - පකිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ හටගත් ප්‍රබල භූ චලනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 5.8ක් ලෙසට ය. භූ චලනයෙන් තවත් පුද්ගලයින් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි ද පකිස්ථාන බලධාරීහු සඳහන් කළහ. පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ මීර්පූර් නගරය ආසන්නයේ භූ චලනයේ අපකේන්ද්‍රය සටහන් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. භූ චලනය හේතුවෙන් මහා මාර්ග සහ නිවාස විනාශ වී ඇතැයි වාර්තා වන නමුත් එය කෙතරම් පුළුල්දැයි මෙතෙක් වාර්තා වී නොමැත. 2005 වසරේ මෙම ප්‍රදේශයේ හටගත් ප්‍රබල භූ චලනයකින් පුද්ගලයන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. භූ චලනයෙන් මිය ගිය අය අතරට දරුවන් ද අයත් වන අතර විපතට පත් වූවන් මුදා ගැනීමට සිය සෙබළ කණ්ඩායම් යොදවා ඇතැයි පකිස්ථාන හමුදාව සඳහන් කළේ ය. මෙම භූ චලනයේ බලපෑම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර සහ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද දැනී ඇතැයි වාර්තා වේ.