නව අධ්‍යාපන ක්‍රම රටට හඳුන්වාදීම අවශ්‍යයි - ජනපති

නව අධ්‍යාපන ක්‍රම හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

by Staff writer 25-09-2019 | 3:58 PM
COLOMBO (News 1st) : උපාධිධාරින් රැකියා ඉල්ලා මහ පාරේ උද්ඝෝෂණය කරන ක්‍රමවේදයක් රට තුළ බිහිවී ඇත්තේ, විද්‍යාව , තාක්ෂණ හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක්‍රමය නිසා බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු - ශිල්ප සේනා - ප්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමිනි. ජනාධිපතිවරයා උත්සවය අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ, කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ දී සිටින අභියෝග ජය ගැනීම සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහය වඩා ත් තදින් දැනී ඇති බවයි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රවල ද බොහෝ පිරිසක් රට ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම රටක් ලෙස සංවර්ධනය කරා යන ගමනේදී ප්‍රබල අභියෝගයක් වී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල අවශ්‍ය මූලික වෙනස්කම් සිදුකරමින් ලෝකයේ දියුණු රටවල නව අධ්‍යාපන ක්‍රම රටට හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම ඉතා අවශ්‍ය බවයි.