තිස්ස අත්තනායකගේ සහයත් සජිත්ට

තිස්ස අත්තනායකගේ සහයත් සජිත්ට

by Staff writer 25-09-2019 | 2:16 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සිය සහයෝගය පළ කරන බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිටින පුද්ගලයින්ට යළි පක්ෂය සමග එක්වන්නැයි සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කළ ඉල්ලීම සලකා බලමින් තිස්ස අත්තනායක මහතා මෙම තීරණය ගෙන තිබේ. ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් අත්තනායක මහතා පෙන්වා දෙන්නේ, පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදු වූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වාතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය ඊට පටහැනි තීරණයකට එළැඹීම නිසාවෙන් බව ය. 2015 ජනාධිපතිවරණයට පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාව ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදා වී තිබියදී එයට පටහැනිව පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අත් විඳින අනතුර තමා දුටු නිසාත් ඒ පිළිබඳව තමා නැගූ හඬ නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව ඇති වූ බරපතල කම්පනය හේතුවෙන් පක්ෂය අතහැර යාමට තීරණය කළ බව අත්තනායක මහතා පවසයි. මේ පිළිබඳව සවිස්තරාත්මකව තමා එළිදක්වන 'නොකියූ කතා' ග්‍රන්ථයේ සටහන් වන බවත් පක්ෂය ජයග්‍රහණය කරවීමට තමා තුළ තිබූ අපේක්ෂාව ඉටුවන මොහොත උදා වී ඇති බැවින් සජිත් ප්‍රේමදාස මහතා සමග අත්වැල් බැඳ ගන්නා බව තිස්ස අත්තනායක මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.