ඇල්පිටිය ඡන්දය වළකන්නැයි, ඉල්ලූ පෙත්සම ඉවතට

ඇල්පිටිය ඡන්දය වළකන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට

by Staff writer 25-09-2019 | 6:47 PM
COLOMBO (News 1st) : නාම යෝජනා කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ගාස්තු රහිතව ප්‍රතික්ෂේප කළේ ය. ඒ, විජිත් මලල්ගොඩ, පී. පද්මන් සුරසේන සහ ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය කළ කරුණු දැක්වීම සලකා බලමිනි. ඔක්තෝබර් 11 වැනිදා එම මැතිවරණය පැවැත්වීම සඳහා පසුගිය අගෝස්තු 30 වැනිදා මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශවාසීන් තිදෙනෙකු විසින් එම පෙත්සම ගොනු කර තිබිණ.