පළාත් කිහිපයකට මි.මී. 200 ඉක්ම මූ මහ වැසි

ප්‍රදේශ රැසකට මි.මී. 200 ඉක්ම මූ මහ වැසි : ගංගා දෙපස ජනතාවට විමසිලිමත් වන්නැයි, උපදෙස්

by Staff writer 24-09-2019 | 6:29 AM
COLOMBO (News 1st) : ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, දකුණ, සබරගමුව, සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ, වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 3.30 න් අවසන්වූ කාලය තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමීටර් 219 කටුනායක ප්‍රදේශයෙන් වාර්තා විය. ගාල්ල, වඳුරඹ ප්‍රදේශයෙන් මිලිමීටර් 175 ක්, ගාල්ල හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 172 ක් සහ හියාරේ ප්‍රදේශයෙන් මිලිමීටර් 164.5 ක වර්ෂාපතනයක් වාර්තාවී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පවතින අධික වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1386 ක පුද්ගලයින් පන් දහසකට අධික පිරිසක් පිඩාවට පත්ව ඇතැයි නිව්ස්ෆස්ට් ප්‍රාදේශීය වාර්තාකරු සුගතපාල දීයගහගේ පැවසී ය. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් මේ වන විටත් ජලයෙන් යටවී ඇතැයි නිව්ස්ෆස්ට් මාතර ප්‍රාදේශීය වාර්තාකරු පී.ඩී.ලියනගේ සඳහන් කළේ ය. මේ අතර නිල්වලා , කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සදහන් කලේ , ගංගා දෙපස ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි. මේ අතර පවතින අධික වැසි සහිත දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, ගාල්ල ,මාතර , කළුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි. පවතින වැසි තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සියලුම පැසල් අද සහ හෙට වසා තැබීමට තීරණය කර තිබේ. දකුණු පළාත් ආණ්ඩුකාර , හේමාල් ගුණසේකර මහතා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි. 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 12 කට අදාළ ප්‍රායෝගික පරික්ෂණ අද සිට ආරම්භ වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා පැවසුවේ, පවතින අධික වැසි සමඟ ජල ගැලීම් හෝ වෙනත් ආපදා තත්ත්වයකට ලක් වන සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ වෙනත් දිනක පැවැත්වීමට පියවර ගන්නා බවයි. ඒ පිළිබඳ පවතින ගැටලු 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි වේ. මේ අතර පවතින අධික වැසි සමඟ අතිවු ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ පුර්ණ නිවාස හානි 12 වාර්තා වන බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 9 ක්. අර්ධ නිවාස හානි 63 ගාල්ලෙන් වාර්තා වේ. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පූර්ණ නිවාස හානි ගණන 3කි. දිස්ත්‍රික්කයේ අර්ධ නිවාස හානි සංඛ්‍යාව 105 කි. ජල ගැලීම් හේතුවෙන්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1366 ක පුද්ගලයින් 3200කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද, ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. එහි සහකාර අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඇතිව තිබෙන ආපදා තත්ත්වය මුහුණ දීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයට හදිසි ආපදා ප්‍රතිචාර වෙනුවෙන් අතිරේකව රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබා දී ඇති බවයි. මාතර දිස්ත්‍රික්කය සඳහා රුපියල් දොලොස් ලක්ෂ 80,000ක මුදලක් ද වෙන් කර ඇතැයි, ඔහු පැවසී ය. මේ අතර, සහන සේවා කටයුතු වෙනුවෙන්, ත්‍රිවිද හමුදා භට පිරිස් ද ඒ ඒ ප්‍රදේශ වෙත අනියුක්ත කර ඇතැයි, චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ ය. ජල ගැලීම්, ගාල්ල, ආපදා සහන සේවා මධ්‍යස්ථානය,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, කාලගුණය