පක්ෂය හැර ගිය අයට යළි එක්වන්නැයි සජිත්ගෙන් ඇරයුම්

පක්ෂය හැර ගිය අයට යළි එක්වන්නැයි ඇමති සජිත්ගෙන් ඇරයුම්

by Staff writer 24-09-2019 | 7:25 PM
COLOMBO (News 1st) - රට ගොඩනැගීම සඳහා තමා සමග එක්වන්නැයි පක්ෂයෙන් ඈත් වූ සියලු දෙනාගෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මතවාද යනු සාකච්ඡා කර විසඳා ගත හැකි කරුණු මිස වෙන් වීමට සාධක නොවන බව ය. එබැවින් පක්ෂයෙන් ඈත්ව සිටින සියලු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ද පක්ෂ නියෝජිතයින් ඇතුළු සියලු ක්‍රියාකාරීන්ට ද පක්ෂය හා ජනතාව ජයග්‍රහණය කිරීම සඳහා තමා සමග අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු ඇරයුම් කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ද පක්ෂයේ අභිමානය තහවුරු කරමින් තමා සමග එක් වන්නැයි ආරාධනා කරන බව ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා අද කැබිනට් රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ය.