කාශ්මීර අර්බුදය විසඳා දීමට ජනපති ට්‍රම්ප් සූදානම්

කාශ්මීර අර්බුදය විසඳීමේ මැදිහත්කරු වීමට ජනපති ට්‍රම්ප් සූදානම්

by Staff writer 24-09-2019 | 1:30 PM
COLOMBO (News 1st) : පකිස්ථානය සහ ඉන්දියාවේ එකඟතාව අනුව කාශ්මීර අර්බුදය විසඳීමට මැදිහත්වීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් පවසා තිබේ. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවු අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. මීට පෙර ද දෙවරක්ම කාශ්මීර අර්බුදය විසඳීමට මැදිහත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ නමුත් එය සිය අභ්‍යන්තර කටයුත්තක් බව පවසමින් ඉන්දියාව එම සහය ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර මනා පුහුණුවක් ලැබූ ත්‍රස්තවාදීන් 500 දෙනෙකු පකිස්ථානයේ සිට ජම්මු කාශ්මීරයට ඇතුළුවීමේ සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තාවී ඇතැයි ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් අනතුරු අඟවයි. ඉන්දීය හමුදා ප්‍රධානියා සඳහන් කළේ, සිය හමුදාව කාශ්මීර නිම්නයේ සාමය බිඳහෙළීමේ එවැනි ක්‍රියාවකට එරෙහිව දැඩි සූදානමින් පසුවන බවයි . නැවතත් ක්‍රියාත්මක කර ඇති පකිස්ථානයේ බාල්කොට් ත්‍රස්ත කඳවුර වෙත යළි පහරදීමට කිසිවිටෙකත් නොපැකිලෙන බව ද ඉන්දීය හමුදා ප්‍රධානියා මෙහිදී අවධාරණය කළේ ය. උත්සව සමයේදී එල්ල විය හැකි මෙම ත්‍රස්ත ප්‍රහාර අවදානම , ඉකුත් වසරවලට වඩා මෙම වසරේදී උත්සන්න වී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි. චෙන්නායි නුවරදී මාධ්‍ය ඇමතූ ඉන්දීය හමුදා ප්‍රධානියා සඳහන් කළේ, ඉන්දු පකිස්ථාන දේශ සීමාවේ ආරක්ෂාව වෙනුවෙන් අමතර සෙබළුන් යොදවා ඇති බවයි ඉකුත් මාස දෙක තුළ පකිස්ථානයෙන් ඉන්දියාවට ත්‍රස්තවාදීන් 60 දෙනෙකු පමණ ඇතුළු වී ඇතැයි ද ඔහු පවසයි. ඉන්දීය හමුදා ප්‍රධානියා පවසන්නේ රජය , ඉන්දු කාශ්මීරයට ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත්කිරීමට ගත් පියවරට විරෝධය පළ කිරීමක් ලෙස පකිස්ථානය එරට ත්‍රස්තවාදීන් ඉන්දියාවට එවීමේ නිරතවන බවයි . මේ අතර ඉන්දු කාශ්මීරයේ ජනජීවිතය යළි සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් කාශ්මීරයට යොදවා ඇති හමුදා පාලනය අවසන් වන දිනය ඉන්දීය හමුදා ප්‍රධානියා හෙළි කර නොමැත.