ඉදිරි පැය කිහිපයේ ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි

ඉදිරි පැය කිහිපයේ ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි..

by Staff writer 24-09-2019 | 1:11 PM
COLOMBO (News 1st) : ඊයේ සිට මේ දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇද හැළෙමින් පවතී. මේ හේතුවෙන් කොළඹ නරගය, මෙන්ම දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී. ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්, තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ බස්නාහිර, දකුණ, සබරගමුව, සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරීල් මෙක්ඩිස් මහතා පැවසුවේ වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි. මේ අතර නිල්වලා, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, ගංගා දෙපස ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බවයි. මේ අතර ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්තවලට අනුව ගෙවුණු පැය 24 තුළ ගාල්ල වඳුරඹ ප්‍රදේශයට මිලිමීටර් 175 ක් හා ගාල්ල හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 172 ක වර්ෂාපතනයක් ලැබි තිබේ. මේ හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම අද උදෑසන 06.30 පමණ වන විට බද්දේගම ඉදිගස්කැටිය ජල මාපකය සටහන් වූයේ මීටර් 4.50 ක් ලෙසයි. ඊයේ දිනය පුරා ගිං ගඟේ ඉහළ පෝෂිත ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ පිටාර ගලමින් පවතී. බද්දේගම වැලිවිටිය දිවිතුර , ගාල්ල බද්දේගම මාර්ග , ගාල්ල වක්කවැල්ල , ගාල්ල මාපලගම ,වදුරඹ යක්කල මුල්ල මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවිය. පවතින අධික වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1386 ක පුද්ගලයින් පන් දහසකට අධික පිරිසක් පිඩාවට පත්ව ඇති අපදා කමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. පවතින අධික වර්ෂාවත් සමග ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයින් අට දහසකගේ විදුලි බලය විසන්ධි කර තිබේ. විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගත් බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් දහසකගේ ද මාතර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් හත් දහසකගේ ද විදුලිය බලය විසන්ධි කර ඇතැයි ඔහු පැවසී ය.