ආබාධිත ර‍ණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

ආබාධිත ර‍ණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

by Staff writer 24-09-2019 | 9:46 PM
COLOMBO (News 1st) - යුද්ධයෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයින්ට විශ්‍රාම ගිය පසුව ද ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ජීවත්ව සිටිනතාක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කර තිබේ. මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගෙවීම සිදු කරන බව ය. ඊට අමතරව යුද්ධයේදී මිය ගිය ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ සාමාජිකයින්ගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් ද, වැටුප් හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් කොළඹ කොටුවේ විරෝධතාවක නිරත ආබාධිත රණවිරුවන් පිරිස අද පස්වරුවේ යළිත් ජනාධිපති කාර්යාලය දෙසට පාගමනින් පැමිණියහ. ලෝටස් මාර්ගය අවහිර කරමින් ඔවුහු අද පස්වරුවේ විරෝධය පළ කළහ. මුදල් අමාත්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළේ, රට වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීම අගයමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන් බව ය. මේ අතර අද රැස්වූ කැබිනට් මණ්ඩලය විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරීන්ගේ දීමනා පිළිබඳව ගැටලුව ද සාකච්ඡා කර තිබේ. අප කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ, වැටුප් විෂමතා සම්බන්ධයෙන් මීට පෙර පත් කළ එස්. රනුග්ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු නිර්දේශ ලබන වසරේ ජනාවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කළ බව ය.