ජනපති කොමිසමේ සාමාජිකයින්ට පත්වීම් ලිපි...

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසමේ සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

by Staff writer 24-09-2019 | 5:20 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් සඳහා අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිතුමා විසින් පත් කළ එම කොමිසමට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් ය. කොමිසමේ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා පත් කරනු ලැබ තිබේ. සෙසු සාමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන් ය. අප්‍රේල් 21 ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ යැයි සැලකෙන රාජ්‍ය සේවකයින්, නිලධාරීන් සහ ඒ පිළිබඳ දැන සිටි පුද්ගලයින් නොතකා හැරීම සම්බන්ධයෙන් බරපතල පැමිණිලි සහ චෝදනා රැසක් පවතින බව ජනාධිපතිවරයා පවසයි. එලෙස බලය හෝ අධිකාරිය අනිසි ලෙස අයුතු යොදා ගැනීම්, මගහැරීම්, අතපසුවීම්, නොසැලකිලිමත්කම්, වගකීම් පැහැර හැරීම් සහ අකාර්යක්ෂමතා සිදු වී යැයි පැවසෙන ක්‍රියාවන් නැවත සිදු නොවන බවට සහතික වීමේ විධිවිධාන සැලැස්වීම සඳහා කවර ක්‍රියාමාර්ග ගත යුතු ද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමේ කාර්යයකි. අදාළ චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සහ ත්‍රස්ත ක්‍රියාවලට සෘජුව සහ වක්‍රව සබඳතා ඇති පුද්ගලයින් මෙන්ම සංවිධානවල ක්‍රියාකලාපය හඳුනා ගැනීම ද කොමිසමට පැවරී ඇති කාර්යයන් ය. ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාදාමයක් සිදු වන බවට පූර්ව හඳුනා ගැනීම, නීතියට අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම, නොසලකා හැරීම සහ නිසි ක්‍රියාමාර්ග නොගත් වගකිවයුතු නිලධාරීන් සහ බලධාරීන් හඳුනා ගැනීම මෙම කොමිසමෙන් අපේක්ෂා කරයි. කොමිසමේ තවත් වගකීමක් වන්නේ, ත්‍රස්ත ප්‍රහාරවලින් පසු රට තුළ ඇති වූ මහජන උද්ඝෝෂණ, කඩාකප්පල්කාරී ක්‍රියා, දේපළ හා පුද්ගල හානි මෙන්ම මහජන කැලඹිලි ඇති කිරීමට සම්බන්ධ පුද්ගලයින් හා සංවිධාන හඳුනා ගැනීම ය. ජාතිවාදී හා ආගම්වාදී ආරවුල් ඇති කිරීමට අනුබල දෙන සහ අනුග්‍රහය දක්වන පුද්ගලයින් මෙන්ම එම සංවිධානවල ක්‍රියාවලිය ද කොමිසම විසින් හඳුනාගත යුතු ය. කොමිසමේ අවසන් වාර්තාවෙන් අදාළ ප්‍රහාරයට සහය දුන්, දිරි දුන් හෝ කුමන්ත්‍රණ කළ පුද්ගලයින් හඳුනා ගෙන ඉන් හානියට පත් තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු නිර්දේශ යෝජනා කළ යුතු ය. මහජන ආරක්ෂාව පිළිබඳව සහතික වීමට අවශ්‍ය පියවර මෙන්ම එවැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීම ද කොමිසමේ ප්‍රධාන කාර්යයකි. අදාළ කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාර දිය යුතු ය. අනතුරුව මාස දෙකකට වරක් අතුරු වාර්තා ඉදිරිපත් කළ යුතු ය. මාස 6ක් ඇතුළත විමර්ශනයෙහි නිගමන, නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව කොමිසමේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව තමාට භාර දිය යුතු බව ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.