මාස 08ක් තුළ මී උණ රෝගීන් 3317ක්

මාස 08ක් තුළ මී උණ රෝගීන් 3317ක්

by Staff writer 23-09-2019 | 10:36 AM

COLOMBO ( News 1st ) - වසරේ ගත වූ කාලය තුළ මී උණ රෝගීන් 3317ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ වැඩිම රෝගීන් පිරිසක් මැයි මාසයේදී වාර්තා වී ඇති බව ය. ජනවාරි, මාර්තු හා ජූනි මාසවලදී විශාල රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ. වැඩිම මී උණ රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ය. එම ගණන 717කි. කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 430ක්, ගාල්ලෙන් 321 සහ මාතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 296ක් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය. ලෙප්ටොස්පයිරෝසිස් ලෙස හැදින්වෙන මෙම රෝගී තත්ත්වය සාමාන්‍ය ව්‍යවහාරයේදී මී උණ ලෙස හැදින් වේ. මෙය ඇති වන්නේ, ලෙප්ටොස්පයිරා නම් ඉතා වේගයෙන් චලනය වන බැක්ටීරියාවක් මගින් ය. ගොවිපළ සතුන්, සුනඛයින්, පූසන් හා මීයන්ගේ මුත්‍රා මිශ්‍රිත ජලය, පස් හා ආහාර මගින් මෙම බැක්ටීරියාව ශරීරගත වේ. බැක්ටීරියාව ශරීරගත වීමෙන් පසුව රුධිර සංසරණයට ඇතුළු වී සිරුරෙහි සියළුම අවයව හා පටල ආක‍්‍රමණය කරනු ලබන අතර සාමාන්‍ය උණ තත්ත්වයක් ලෙස හට ගන්නා මෙය ක්‍ර‍මයෙන් තද උණ තත්ත්වයක් දක්වා වර්ධනය වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. උණ, සීතල, ඇස් රතුවීම, හිසරදය, කොන්ද හා කෙන්ද ආශ‍්‍රිතව මස් පිඬු වේදනාව මී උණ රෝගයේ විශේෂ ලක්ෂණයයි. වෛද්‍ය මතය වන්නේ, රෝගය වැළැක්වීම සඳහා ගොවීන් කුඹුරට බැසීමට පෙර වෛද්‍යවරුන් නිර්දේශ කරන ප‍්‍රතිජීවක ඖෂධ සතියකට වරක් භාවිත කළ යුතු බව ය.