නිල්වලා, කළු, ගිං ගංගාවල ජල මට්ටම ඉහළට

පළාත් රැසකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි

by Staff writer 23-09-2019 | 2:23 PM

COLOMBO (News 1st) - අද රාත්‍රියේ දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි. තද වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවට දැනුම් දෙයි. මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම, පිටබැද්දර සහ පානදුගම ප්‍රදේශයෙන් හා ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශයෙන්, කළු ගගේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා එම ගංගා දෙපස ජනතාවට දැනුම් දෙයි. පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නාය යෑම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහතා සඳහන් කළේ, ගාල්ල, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බවයි.