ඉන්දීය අගමැතිගෙන් පකිස්ථානයට අනතුරු ඇඟවීමක්

"ත්‍රස්තවාදයට එරෙහිව තීරණාත්මක සටනකට එලැඹීමේ කාලය උදා වෙලා"- නරේන්ද්‍ර මෝදි

by Staff writer 23-09-2019 | 8:45 AM

COLOMBO ( News 1st ) - ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක ත්‍රස්තවාදීන්ට පකිස්ථානය සහය දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් හමුවේ ඉඟිකර තිබේ.

පකිස්ථානයේ නම සඳහන් කිරීමෙන් තොරව මෙම චෝදනා එල්ල කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මුම්බායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ප්‍රධාන ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් සැලසුම් කළේ කවුරුන්දැයි ලෝකයම දන්නා බවයි. ඉන්දීය -අමෙරිකානුවන් 50000 කගේ පමණ සහභාගීත්වයෙන් අමෙරිකාවේ පැවැත්වෙන හවුඩි මෝඩි නැමති සංස්කෘතික උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි මේ බව ප්‍රකාශ කළේ ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පකිස්ථානයට අනතුරු ඇඟවීමක් ලෙස වැඩිදුරටත් කියා සිටියේ, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී අමෙරිකාව නිරන්තරව ඉන්දියාවට සමග සිටින බවයි. ත්‍රස්තවාදයට එරෙහිව තීරණාත්මක සටනකට එලැඹීමේ කාලය උදා වී ඇතැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය. ජනාධිපති ට්‍රම්ප් ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ සටනට නැගී සිට අත්පොලසන්දී ප්‍රණාමය පුදකරන ලෙසද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි පිරිසගෙන් ඉල්ලා සිටියා ය.